Thursday, September 15, 2016

පන්විසි වසරක සූර්ය ප්‍රභාවක ප්‍රත්‍යාවලෝකනය





පන්විසි වසරක සූර්ය ප්‍රභාවක ප්‍රත්‍යාවලෝකනයේ සමරු කලාපයට මෙම ළබැඳි සටහන ලියවෙන්නේ මාගේ පාසල් කාලයේ හොඳම මිතුරා මෙන්ම, සරසවියේ දී රූමා ද වූ රොහාන් ද සිල්වා අතිනි.


 රබා ගේ ලෝකයේ මගේ මතකයන්...

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට සබැදි මගේ අතීත මතකයන් අවුරුදු 36 පමණ ඈත කාලයට බැදී ඇත. එම මතකයන් කොටසක් ආවර්ජනය කළ යුතුයැයි මට සිතුනි.

 නිතර මුව පුරා සිනාවකින් පුරවාගෙන සිටි කලූ පැහ සගයා මගේ අවධානය දිනා ගත්තේ අප සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන අවදියේදීය. නිතර දඟ කළද රවීයා අධ්‍යයන කටයුතු වලදී පෙරමුණේ සිටියේය. එම වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගයෙන් A8 ගත් රවී ඔහු ඉගෙනුමට හපනෙක් බව සහතික කර පෙන්වීය. 

උසස් පෙළ ගණිත අංශයේ පන්ති දෙකක් විය. රවී A පන්තියේ ඉගෙනුම ලැබූ අතර මා සිටියේ ඊ පන්තියේය. 87-89 යුගයේ උසස් පෙළ ඉගෙනුම ලැබූ අපට පොදු වූ ගමන් මගේ තැනින් තැන රවී ගේ චරිතයේ මතකයන් බහුලව ඇත. 

ගණීතයේ දක්ෂයෙකු වූවද, එදවසද රවියාට ලිවීමට හැකිය. පිටු ගනන් වූ පෙම් හසුන් පත් ලියා ගැනීමට ඔහුගේ සහය ලබා ගත් බොහේ දෙනෙක් වූහ. වරෙක සිසු අරගල අතරතුරදී අපගේ සගයෙක්  සාක්කුවක වූ ලිපියක් හමුදා පරීක්ෂාවකදී සෙබලෙකුට හසුව ඔහු  විසින් හඩ නගා කියවන ලදී. පිටු ගණනක් වූ ලිපිය ඉතා රසවත් විය. ලිපිය අසු වුනේ වෙනකෙකු අත තිබූ වුවද. එම ලිපියද ලියා තිබුනේ ද රවියාය. 

89 අග භාගයේදී පාසලෙන් විසිර ගිය අපි යලිත් හමු වුනේ උසස් පෙල විභාගයට ආසන්නවය. පන්ති සගයන් අහිමිව ගොස් සිටියද, යලිත් විභාගයට සුදානම් වීමේ ගමන් මගේදි අපි එක්ව ගමන් ගත්තෙමු. පාසලට වඩා අපගේ කාලය ගෙවුනේ රවියාගේ ගෙදරය. ඒ රවීගේ සොහොයුරා වූ විජේන්ද්‍ර අයියා අපගේ ගණිත ගුරුවරයා වූ නිසාය. නිවෙසින් බැහැරව නේවාසිකව සිටි අපට රවීගේ ගෙදර දෙවනි ගෙදර විය. රවීගේ බත් පත අප බෙදා ගෙන කෑ වාර බොහෝ ඇත. පාසල් සමයේ රවී එවැන්නෙකි.

උසස් පෙළ සමත් වීමෙන් පසු අපට අවුරුදු දෙකකට වඩා විශ්ව විද්‍යාලය වෙත පිවීසීමට බලා සිටිය යුතු විය. රවී මේ කාලයේදී විජේන්ද්‍ර අයියාගේ ගණිත පන්තිය ඉදිරියට ගෙන ගියේය.

ඔහු ගණිත විෂයේ දක්ෂයෙක් වූවා සේම හොද කලාකාරයෙක්, සමාජ ක‍්‍රියාකාරිකයෙක් විය. 88-89 යුගයෙන් පසුව අපාණිකව, නිසොල්මන තිබූ සමාජය යලි නිද්‍රාවෙන් නැගිටවීමේ උත්සාහය ඔහු අත් හලේ නැත. සියල්ලෝ නිහඩව සිටි සමයක, බණ්ඩාරවෙල දැනුවත් සමාජය කම්පනය කිරීමේ වෑයම දියත් වුනේ 93 දීය. විශාරද ගුණදාස කපුගේ සමග කම්පන සංගීත ප‍්‍රසංගය බණ්ඩාරවෙල නගර සභා ශාලාවට ගෙන ඒමේ මුලකයා, චින්තකයා වූයේ රවීය. ‘සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.....’ ‘උල ලේනෝ...’ ඇතුලූ ගුණදාස කපුගේ ගී එකතුවේ අභ්‍යන්තර පණීවිඩය සමාජයට ගෙන යාමේ උවමනාව මිස අනෙකක් රවීගේ හිතේ නොවීය. ටියුෂන් වලින් අමාරුවෙන් ඉතිරි කරගත් මුදල ඒ සදහා යෙදවීමට තරම් ඔහු ධෛර්යවන්ත විය. උසස් පෙළ අවසන් කළ පුංචි කොල්ලන්ට එවැනි කාර්යයන් කිරීමේ හැකියාව ඇති බවද රවි තම සගයන් හා එක්ව කියා දුන්නේය.

පාසල් සමයේදී ලගින් සිටි රවී පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ දී මගේ පළමු වසර රූමා විය. අප දෙදෙන් මුලින්ම පේරාදෙණියට ගිය ගමන තවමත් මතකයේ පවතින එකකි. ඉංග‍්‍රීසි හැකියාවන් මැනීම සදහා විභාගයට සහභාගී වන ලියුම් ලැබුණ පසු ඒ සදහා පේරාදෙණියට යා යුතු විය. විභාගය තිබුනේ උදේ වරුවේය. බණ්ඩාරවෙල සිට උදෑසන විභාගයට ඒමේ හැකියාවක් නොතිබුණි. පේරාදෙණිය ආසන්නයේ නෑදෑයන් ද අප දෙදෙනාට නොසිටියේය. 

විසදුම ලෙස රවී යෝජනා කලේ අප දන්නා යහලූවකුගේ නේවාසිකාගාරයක නැවතීමටය. රැකියා කරන දෙදෙනෙකු සේ පෙනී සිටිමින් යහළුවාගේ කාමරයේ නැවතීම අපගේ බලාපොරොත්තුව විය. පේරාදෙණියෙන් බසයෙන් බසින විට සවස කලූවර වැටී තිබිණි. අප දෙදෙනා කලින් තිබූ තොරතුරු අනුව හිල්ඩා ශාලාවට ගියෙමු. රවියාට යාලූවා සිටි ශාලාව අමතකව තිබිණි. අපි නම පවසා දෙතුන් දෙනෙකුගෙන් විමසුවෙමු. නමුත් යාලූවා දන්නා කෙනෙකු හමු වූයේ නැත. දෙවන වසරේ කළා පීඨ ජ්‍යෙෂ්ඨයන් එකා දෙන්නා රබර් ඇස් යොමා අප විභාගය සදහා ආපු එවුන් දැයි විමසීමට විය. කලින් සකස් කරගත් පරිදි උත්තර දී අපි හිල්ඩා ආපන ශාලාවෙන් මාරු වූයෙමු. ඒ වන විට රෑ බෝවී තිබූ අතර සිතා ගත හැකි විකල්පයක් නොවීය. හිල්ඩාවේ කොරිඩෝවේදී අපි ඉදිරියට ආ දෙදෙනෙකුගෙන් ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර සිසුන් සිටින ශාලා ගැන විමසුවෙමු. යහළුවෙකුගේ කාමරයක රැය ගත කොට නුවර වැඩකට යාමට ආ බැව් පැවසුවෙමු. මදක් වේලා අප දෙදෙනා සමග කතා කළ ඔවුන් අපට උදවු කළ අතර  නැවතීමට ඔවුන්ගේ කාමරය ලබා දුනි. අපගේ පරණ පිනකට මෙන් අප අවසනට කතා කොට තිබුනේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිරා පොරවල් දෙකකටය. ඔවුන් දෙදෙනා අපට උදවු නොකලේනම් අම්බානකට රැග් වන්නට වන්නේ පළමු දාය. නිවැරැදිව අපව හදුනා ගත් ඔවුන් කිසිවෙකුට විභාගය ලිවීමට ආ බව නොපවසා සිටින ලෙස කී අතර ඔවුනගේ නැදෑ සහෝදරයන් ලෙස පෙනී සිටින ලෙස දැන්වීය. පසුදා උදේ ඉංජිනේරු පීඨය දක්වා අප රැගෙන ද  ගියේය. පේරාදෙණියේදී සහෝදරත්වය ගැන පළමු පාඩම අප ලැබුවේ ඒ අවසන් වසර සොහොයුරන්ගෙනි. 

මගේ සගයෙක් වූ ඉන්ද්‍රජිත් ගේ අඩක් මඩ සහිත ලියමනක, ඉංජිනේරුවෙක් නොවී ගුරුවරයෙක් වී රවී කරනා සමාජ මෙහෙය අගය කර තිබුණි. ඇත්තෙන්ම ගණීතය රවීට ගීතයකි. රවීගේ ගණිත හැකියාවන් හා සැසදීමේදි ඔහුට හිමි තැන වනුයේ මහාචාර්ය පදවියකි. එවැනි හැකියාවකින් යුතු වූ ගුරුවරයෙකුගෙන් ගණීතය ඉගෙනීමට ලැබීමට මෙදවස පරපුර වාසනාවන්ත වී ඇත. 

පාසල් සමයේදී මෙන්ම, විශ්ව විද්‍යාල ජීවිතයේදී, ඉන් පසුව ද රවී කලණ මිතුරෙකි. මිතුරන්, තමන්ගේ සගයන් , වෙනුවෙන් නොපැකිලිව, නොසැලී ඉදිරිපත් වන රවීයාට ඔහුගේ 25 වන ගුරු සැමරුම් දිනය වෙනුවෙන් හදවතින්ම සුභ පතන්නෙමි. තව දිගු ගමනක් යෑමට ධෛර්යය හා ශක්තිය රවීට ඇත.

2008 බණ්ඩාරවෙල උසස්පෙළ කණ්ඩායම යනු එතෙක් පැවති ප‍්‍රතිඵල තීරණාත්මකව වෙනස් කළ කණ්ඩායම වේ. ඔවුන් අතර පුමුඛයකු වූ සජිත් රුවන්ත අද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි. මේ ඔහුගේ සිංහාවලෝකනයයි...

හිරු මෙන් සුවිශේෂ වූ රවී සර්

    ”ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි...” - චිංගීස් අයිත්මාතව්


    මේ වදන් පෙළ මට හමුවන්නේ එක්තරා සුවිශේෂී ගුරුවරයෙකුගේ උසස් පෙළ සංයුක්ත ගණිතය නිබන්ධන කිහිපයක අවසාන පිටු අතර කෙළවරකය. ඔව්, ඇත්තටම වසන්තය පැමිණ තිබේ. ඒ මෙතෙක් කල් අපට අකුරු කළ ගුරුවරුන් නිසාමය. ශිෂ්‍යයකුගේ ජීවිතයේ අසීරුම ඉලක්කය උසස් පෙළ විභාගය බවට කිසිදු විවාදයක් නම් නැත. ඒ උසස් පෙළ කඩඉමේදී ඔබටත් මටත් හමුවූ මේ අපූරු ගුරුවරයා අන් කිසිවෙකුත් නොවේ. ‘රවීන්ද්‍ර බණ්ඩාර’ නැතහොත් කවුරුත් දන්නා පරිදි ‘රවී සර්’ නම් ඔහුයි.


    වසර දෙකකට ආසන්න ඒ කාලය තුළදී මේ සොඳුරු ගුරුවරයා සමඟ හුවමාරු වූයේ කලනය, ත‍්‍රිකෝණමිතිය, සංඛ්‍යානය, ගුරුත්ව කේන්ද්‍රය, සම්භාවිතාව සහ සරල රේඛාව ඇතුළු තවත් ගණිත ගැටළු කිහිපයක් පමණක් නම් නොවේ. ඔහුගෙන් ඉගෙනගත් සෑමදෙනාම දන්නා පරිදි ‘රවීන්ද්‍ර බණ්ඩාර’ යනු තම සිසුන් සමඟ ඉතා සමීපව කටයුතු කළ ගුරුවරයෙකි. ඒ නිසාවෙන්ම විෂයද අපට සමීප කරන්නට ඔහුට හැකිවූ බව විශ්වාස කරමි. විටෙක ‘රවී සර්’ හොඳ මිත‍්‍රයෙකි, තවත් විටෙක සමීප හිතවතෙකි, ඒ සැමටම වඩා අප හැමදෙනාගේම සිත් දිනාගත් දක්ෂ ගුරුවරයෙකි.


    ‘රවී සර්’ නිතරම අපත් සමග කියූ කතා කිහිපයක්ම මගේ සමකාලීනයන් සහ ඔහුගෙන් ඉගෙනගත් සෑම දෙනාටම කිසිදා අමතක නොවනු ඇත. අපට සංයුක්ත ගණිතය විෂය උගන්වන්නට පෙර ඔහු නිතරම තමන්  පැමිණි ගමන් මඟ අපට සිහිපත් කළේ කුමන අභියෝග, බාධක පැමිණියත් තමන් යා යුතු යයි අරමුණු කල තැනට යා යුතු බව නිරන්තරයෙන්ම සිහියට නංවමිනි. කුඩා කල පටන් ජීවිතයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉංජිනේරු උපාධිය ලබා ගැනීම දක්වා ඔහු පැමිණ තිබුනේ සුන්දර ගමනක් නම් නොවේ. ඔහු පැමිණි ගමන් මඟ ඔහුගෙන් ඉගෙනගත් හැමදෙනාටම නිතරම දිරි ගැන්වීමක් වූයේ තමන් තුළ යම්කිසි හෝ දක්ෂතාවක් වේ නම් එයට නිවැරදි වටිනාකමක් ලැබෙනුයේ කැපවීම තුලින් පමණක් බව ඔහු නිතරම සනාථ කළ බැවිනි. ගුරුවරයෙකු ලෙස ඔහුගේ කැපවීම වසර ගණනාවක් තුළ ඉතාමත් සාර්ථක ප‍්‍රතිඵල රැුසක් බිහි කරන්නට දායක වූ බව නොරහසකි. ‘රවී සර්’ගේ මුවින් නිතරම ගිලිහුණු වචනයක් වුයේ නම් ඒ අන් කිසිවක් නොවේ, ”වැඬේ කොහොමහරි ගොඩ දාන්න”. ඇත්තටම ඔහු නිසා ‘ගොඩ ගිය’ සහ ඔහු විසින් ‘ගොඩ යන්නට’ මග පෙන්වූ සිසුන් බොහෝ දෙනෙක් සිටින බව වසර 25 ක ගුරු ජීවිතය තුළ ඔහු පෙන්වා දී හමාරය. 


    පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ ගත කල ඒ සොඳුරු කාලය සහ ඔහුගේ සරසවි ජීවිතය ඔහු නිතරම අපත් සමග බෙදා හදා ගත්තේය. සරසවි ප‍්‍රවේශය තම එකම අපේක්ෂාව වූ අප හැමදෙනාටම එය නිරන්තර දිරි ගැන්වීමක්ම විය. අප උසස් පෙළට ඉගෙන ගන්නා කාලය වන විටත් ඔහුගෙන් ඉගෙනගත් උසස් පෙළ විශිෂ්ට ප‍්‍රතිඵල ලැබූ බොහෝ දෙනෙක් විය. උසස් පෙළ හොඳම ප‍්‍රතිඵල ලැබූ ශිෂ්‍යයින් සහ විභාගයට සූදානම් වන ශිෂ්‍යයින් නිතර මුණගස්වන්නටත් ඔවුන් අතර සම්බන්ධයක් ගොඩ නගන්නටත් ‘රවී සර්’ට බොහෝ විට උවමනා විය. 


    වෘත්තියෙන් විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙකු වූ නිසා පමණක් නොව ඔහු තුළ සහජයෙන් දක්නට ලැබුණු බොහෝ සුවිශේෂී දේ නිසා ඔහු නිතරම උත්සාහ කළේ සංයුක්ත ගණිතය විෂය ඉගැන්වීම තුළ නව මානයන් සොයා යන්නටය. ‘රවී සර්’ නිතරම ඔහුගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට අලූත් දෙයක් ලබා දීමට උත්සාහ කළේය. අප උසස් පෙළ විභාගයට මුහුණ දෙන අවධියේ ඔහුගේ නව සංකල්ප කිහිපයක්ම සිසුන් අතර බොහෝ ජනප‍්‍රිය විය. GPRS" MMS ප‍්‍රශ්න පත‍්‍ර සහ ‘විකල්පය’ සඟරාව ඒ අතරින් කිහිපයකි. ‘රවී සර්’ගේ ප‍්‍රශ්න පත‍්‍ර වල නිතරම තිබුනේ අලූත් ප‍්‍රශ්නය. ඇතැම් ප‍්‍රශ්න ඔහු විසින්ම නිර්මාණය කරන ලද ප‍්‍රශ්නය. ඔහුගේ හඳුන්වාදීම් අතරින් ‘විකල්පය’ සඟරාව ඒ කාලයේ බොහෝ දෙනා අතර ඉතා ජනප‍්‍රිය විය. ඒ තුලින් ගණිතය විෂයක් ලෙස පමණක් නොව කලාවක් ලෙසද රස විඳින්නටද ඔහු අපට හුරු කළේය. සිද්ධාන්ත සහ ගණිත ගැටළු අතර සිරවී සිටි ශිෂ්‍යයින්ට තමන්ගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කරන්නට එකල හොඳම තැන එය විය.


    මේ සියල්ල අතරතුර උසස් පෙළ සිසුන්ට එවකට බොහෝ සෙයින් උපකාර වූ පොත් පත් කිහිපයක්ම පල කරන්නට ‘රවී සර්’ කාලය සොයාගත්තේය. මේ සියලූ දේ සඳහා ඔහු කාලය කළමනාකරණය කරගත් ආකාරය විශ්වවිද්‍යාල ජීවිතය තුළ පමණක් නොව වර්තමාන වෘත්තීය ජීවිතය තුළද අපට බොහෝ පාඩම් කියා දෙන බව කිව යුතුමය. 


    මේ සොඳුරු මිනිසා තුළ ගණිත විෂය තුළ තිබෙන ප‍්‍රවීනතාවට එහා ගිය බොහෝ විශේෂ ගතිගුණ කිහිපයක්ම විය. කිසි විටකත් තම කුඩා කාලය අමතක නොකළ මේ සුවිශේෂී චරිතය ආර්ථික අපහසුතා ඇති ශිෂ්‍යයින් හඳුනාගෙන ඔවුන්ට උපකාර කරන්නට කටයුතු කළ බවද ගෞරවයෙන් සිහිපත් කළ යුතුමය. ඇතැම් දිනවල ඔහු තම කාර්ය බහුල ජීවිතය තුළ වෙලාව වෙන් කරගත්තේ තමන්ට අකුරු කළ තමන් ඉගෙනගත් පාසලේ ගුරුවරුන් උදෙසා යමක් කරන්නටය. ඒ ඔහු සමග සමීපව කටයුතු කළ ශිෂ්‍යයින් හොඳින්ම දන්නා කරුණකි. ඔහු සැබැවින්ම තමන්ට අකුරු කළ ගුරුවරුන්ට බොහෝ සෙයින් ගෞරව කළේය. එලෙසින්ම ඔහුගෙන් ඉගෙනගත් අපද ඔහුට ගෞරව කරනුයේ ජීවිතයේ මේ තරම් දුර යන්නට උසස් පෙළ කඩ ඉමේදී ඔහු විසින් ලබාදුන් පන්නරය අපට කිසි විටක අමතක කළ නොහැකි නිසාවෙනි. 


    තමන් සමග ඉගෙනගත් සහෝදර ශිෂ්‍යයින්ට සරසවි වරම් ලබන්නට ලබාදුන් සහයෝගයෙන් ඇරඹුණු තම ගුරු ජීවිතයේ වසර 25 ක නිමාව සමරන්නට නොව වසර 25 ක අත්දැකීම් සමග අලූත් ගමනක් යන්නට සූදානම් වන මේ මොහොතේ,

ආදරණීය ‘රවී සර්’ ඔබට අපි හදවතින්ම සුබ පතමු.  

2008 උසස් පෙළ කණ්ඩායම වෙනුවෙන්
සජිත් සෙනෙවිරත්න
ගුවන් යානා ඉංජිනේරු අංශය
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම



එකල්හි මානවයා නැමති කාඞ් එක දැරූ සමන්ත ජයසේකර බැචා අද  ඕමානයේ ප‍්‍රසිද්ධ සමාගමක ව්‍යාපෘති ඉංජිනේරුවරයකු ලෙස සේවය කරයි. ඔහුගේ අතීතාවර්ජනය.......

                                          රබා උඹ හරි උසයි..!

දෙමවුපියන් නෑ හිතමිතුරන් සහ ගුරුවරුන් යනු අපට විශේෂී චරිතයන්ය. මිතුරෙකු ගුරුවරයෙකුද වූ කළ හේ සුවිශේෂී වන්නේය. 

කුඩාකල සිටම ගණිතය මා විශේෂයෙන් ප‍්‍රිය කල විෂයකි. මගේ ඒ පිලිබඳ වූ ආශාව සහ හැකියාව ඔප මට්ටම් කර මාව ඉහලින් ඔසවා තැබූ ගුරුවරුන් බොහෝය. මට මුලින්ම මතකයට නැගෙන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට හවස පන්ති කල ගුරුතුමාය. ජාතික ඇඳුමෙන් සැරසී නිතර සිනාමුසු මුහුනින් සිටි එතුමා මීට වසර කිහිපයකට පෙර මියගියේය. මගේ කාලයේ බොහෝ සිසුන්ගේ දෑස් පෑදුවද මියයාමට පෙර දෑස් අඳව ටික කලක් සිටි එතුමා බැලීමට ගොස් ආපසු එනවිට පෙර කල සේම මගේ හිස පිරිමැදි හැටි මට තාම මතකය. ඊලඟට මට මතක් වන්නේ මා සාමාන්‍ය පෙල කරන කාලයේ අපට ගණිතය උගැන්වූ ගුරුතුමාය. අප පාසලේ විනය බාර ගුරුතුමාද වූ එතුමා ශලාව අසලින් යන විට පවා සියලූම සිසුන් මීයට පිම්බාක් මෙන් නිහඬ වන්නේ ඇසිල්ලෙනි. එකල මම එතුමාගේ ගණන් පාඩම් වලට අමතරව වේවැලෙන් ද බොහෝ සේ පාඩම් ඉගෙන ඇත්තෙමි. ඔහුගෙන් ඉගෙනගන වර්තමානයේ බොහේ ඉහල වෘත්තීන්හි යෙදනා මගේ කාලයේ මිතුරන් බොහෝය. ඔහුගේ දියණියද වෛද්‍යවරියක වූ පසු සියල්ලටම සමුදුන් එතුමා දැන් ආරණ්‍යගතව මහනදම් පුරන්නේය. අප උසස්පෙළ කරන කාලයේදී පාසලේ ගණිතය උගැන්වූ ගුරුතුමාද ඉතාමත් සැර ගුරුවරයෙකි. එහෙත් සාපේක්ෂව අඩු පහසුකම් මධ්‍යයේ වුවද ඔහුගේ සේවය උපරිම මට්ටමෙන් ලබාදීමට ඔහු උත්සුක වූවේය. උසස්පෙල ගණිතය සඳහා අපට පුද්ගලික පන්තියේ ඉගැන්වූ ගුරුතුමාද සුවිශේෂී චරිතයකි. එකල ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධියක් හදාරමින් සිටි විශ්වවිද්‍යාල සිසුවෙකි. මේ සියලූම ගුරුවරුන් උස මහත ආරෝහ පරිනාහ දේහයන්ගෙන් හෙබි වූවෝ වුවද අද මගෙ කතානායකයා නම් දේහයෙන් ඉතා කුඩා පුද්ගලයෙකි.

කෙසේ හෝ සියලූ කඩයිම් ජයගෙන අවසානයේ අප විශ්ව විද්‍යාලයට ඇතුලූවූයේ ඉන්ජිනේරුවන් සේ ජයග‍්‍රාහී ”පොර” මානසිකත්වයකිනි. නවක වද කාලය අවසානයේ මේ පොරත්වයෙන් පොඞ්ඩක් හෝ ඉතිරිව තිබුණා නම් කිත්තගේ පලමු ලෙක්චර් එකෙන්ම ඒ ඉතිරිවී තිබූ ඩින්ගද නැතිවී බිමටම වැටුනි. අපට ප‍්‍රථම වසරේ ගණිතය ඉගැන්වූයේ මහාචාර්ය සැමුවෙල් ය. යම්කිසි ස්නායු ආබාධයකින් පෙලූනද එතුමා විසින් මහත් වෑයමක් ගෙන ගණිතමය සිද්ධාන්තයන් පැහැදිලි කරදීමට තැත් දැරුවේය. එහෙත් මෙතෙක් අප හුරුවී සිටි ඉගෙනීමේ රටාවෙන් මෙය සම්පූර්ණයෙන්ම වෙනස්ම ක‍්‍රමයකි. එහිදී කෙරුනේ උගැන්වීම වෙනුවට ඉගෙන ගැනීමට පෙලඹවීමයි. එනම් ගුරුවරයා විසින් මූලික සිද්ධාන්ත පමණක් පහදා දී අධ්‍යනයේ වගකීම සිසුවාටම පවරා අවසානයේ ඔහුගේ දැනුම විමසීමයි. අපිට තිබූ ප‍්‍රධාන ප‍්‍රශ්ණය මේ ක‍්‍රමය නොතේරීම පමණක්ම නොවේ. මේ අතරට පැමිණි භාෂාව නම් බාධකයයි. කවුරුහරි කෙනෙක් මේ දේවල් පොඞ්ඩක් තේරෙන විදිහට සිංහලෙන් පහදල දෙනවනම් මොන තරම් පහසුවක් දයි අප බොහේ දෙනෙකුට සිතුනි.

කෙසේ වෙතත් ආචාර්ය වරුන් විසින් කියාදුන් විෂය දැනුම ග‍්‍රහණය කරගැනීමේ ගැටලූවට හොඳම පිලිතුර ලැබුනේ කුප්පි වලිනි. විභාගය කිට්ටුකර යම්කිසි විෂයක කෙළ පැමිනි තම බැචෙක්ම විසින් හෝ සීනියර් සිසුවෙකු විසින් හෝ මුල මැද අග නියමෙටම ගලපා දෙන කුප්පි නම් විභාග ගොඩයෑමට මහෝපකාරී වූ බව කිවයුතුමය. මේ කාලය තුල කුප්පි සංවිධායක විසින් ඒ ඒ විෂය කොටස් සඳහා නම් දැරූ කුප්පි දෙන්නන් හොයාගනු ලබයි. බොහෝ විට කුප්පි ස`දහා නිර්දේශ වන්නේ ඒ ඒ විෂයන් සඳහා නම් දැරූ අයයි. එහෙත් සමහර කොටස් සඳහා එවැන්නෙක් නොමැති නම් සංවිධායක විසින් බැචාලා ගෙන් උදවු ලබාගන්නේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් පැමිණි දක්ෂයින් ගොඩකට කුප්පි දීම එසේ මෙසේ වැඩක් නොවූවද මේ සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්වන බැචාලාද නැතිවම නොවේ. සමහර විට එහිදී නොයෙකුත් යටි අරමුණුද තිබිය හැක. බැචාලා අතරේ පොරක් වීම හෝ කරත්තයක් අමුණාගැනීමද මේ සැගවුනු අරමුණු අතර තිබිය හැක. අපේ බැච් එකේ ඉලෙක්ටි‍්‍රකල් කල පොරක් සිවිල් කරන උන්ට කුප්පියක් දීමත් එයට හේතු වූයේ ඔහුගේ සිත්ගත් සිවිල් කරණා බැචීගේ හිත දිනාගැනීම බවත් ඒ දිනවල බැච් එක තුල ප‍්‍රසිද්ධ රහසකි. කෙසේ හෝ උත්සාහය අත්නොහැරි අප බැචා විසින් සිවු අවුරුදු පාඨමාලාව හමාරවී සිය සිත්ගත් ලඳගේ හිත දිනාගැනීමට සමත් වූයේය. එහෙත් එයට කෙතරම් දුරට කුප්පිය උදවු වූවේදැයි නොදනිමි. මා මුහුන දුන් අනිත් භයානක කුප්පි අද්දැකීම කපුවාගේ ෆ්ලූයිඞ් කුප්පියයි. ඔහු විසින් සංවිධායකගෙන් ඉල්ලා පැවැත්වූ ඒ කුප්පිය ඉවරවෙන තුරා නොයෙකුත් වගුගත කල සූත‍්‍ර ගොඩක් ඉදිරිපත් කරණ ලද අතර කුප්පිය අවසාන වනවිට ඉතාමත් අපහසුවෙන් නොනිදා සිටියේ කුප්පි සංවිධායක හා කපුවාගේ රූමලා විතරය. කුප්පියේ අවසාන ප‍්‍රතිඵලය වූයේ කපුවා සූත්තර කපුවා ලෙස බෞතීස්ම ලැබීම පමණි.

ගණිතය විෂයට මම කොතරම් ඇලූම් කළ ද විශ්වවිද්‍යාලයේ ගණිතයට නම් මට කුප්පි යාමේ දැඩි අවශ්‍යතාවක් තිබුණි. එහෙත් සංවිධායක විසින් මේ සඳහා නිර්දේශ කර තිබ්බේ අපේම බැචෙකි. සූත්තර කපුවාගේ කුප්පියෙන් අන්දමන්ද වී සිටි මා සිටියේ එම කුප්පියට යනවාද නොයනවාද කියා දෙගිඩියාවකිනි. බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ සිට පැමිණි එතරම් ඇ`ගපතක්ද නැති මරිසි පෙනුමකින් යුතු මෙම හාදයා ගැන මම දැන සිටියේ කරුණු ස්වල්පයක් පමණි. ඩ්‍රෝවින්ග් පාඨමාලාව සඳහා පැන්සලක්වත් නැතිව පැමිනි ඔහුගෙන් බැචෙක් ඉරේසින්ග් ශීල්ඞ් එකක් ඉල්ලීමේ අලකලන්චිය එයින් මුල්ම කරුණයි. එසේම ආදරවන්තයා හමුවීමට යෑම නිසා නිතර නිතර ප‍්‍රැක්ටිකල් වලට නොපැමිණි මගේ ගෲපීට මෙඩිකල් ලබාදීමද මට මතකය. මෙහිදී පුද්ගලික මෙඩිකල් බාර නොගත් බැවින් අපිට විශ්වවිද්‍යාල හෙල්ත් සෙන්ටර් එකේ වෛද්‍ය සහතික ලබාගැනීමට සිදුවිය. අපේ වීරයා ලඟ ඇතිතරම් මේවා තිබූ බවද එකල ප‍්‍රසිද්ධ රහසකි. ඒ හැරුනු කල ඔහු ගැන මම වැඩි දෙයක් නොදැන සිටියෙමි. අද මෙන්ම එදාද දේශපාලනය අප‍්‍රසන්න වීමද මා ඔහුට එතරම් ලං නොවීමට හේතුවක් වන්නට ඇත. කෙසේ හෝ මැතට වෙන විකල්පයක් නොදුටු හෙයින් කුප්පියට යෑමට තීරණය කලෙමි.

එදා කුප්පියට වෙනදාටත් වැඩි සෙනගය. වෙලාවට කොට ඩයල් එක ඉදිරියට පැමිණ වැඬේ පටන් ගත්තේය. සාමාන්‍යයෙන් කුප්පිවලදී නොයෙකුත් සද්ද බද්දය. නැතිනම් ? නිදිමරාගෙන පාඩම්වල යෙදී සිටි බාගයක් නින්දේය. එහෙත් මොහොතකින් කුප්පියට පැමිණි සියල්ලම සිය වසඟයට ගැනීමට බණ්ඩාරවෙලින් පැමිණි මේ කුඩා මිනිසා සමත් විය. ලංකාවේ හතර දෙසින් පැමිණ සිටි දක්ෂ ගණන්කාරයෝ සියල්ලම මොහු ඉදිරියේ නිහ`ඩවම සවන්දීගෙන සිටී. විටෙක එකෙක් නොතේරෙන යමක් නැවත ප‍්‍රශ්ණ කරනා විට එය ඉතාමත් පැහැදිලිව කියා දේ. කුප්පිය පටන්ගන්න විට කලූලෑල්ලටවත් උස නැත්තෙකැයි මට සිතුනු මරිසියා හිමින් හිමින් දැවැන්ත චරිතයක් වී අප ඉදිරියේ දිස්වන්නට විය. පලමු වසරේ මැත කුප්පිය නිමා විය. එතැන් සිට අවසාන වසර තෙක්ම මාගේ මැත ගොඩදැමීම සඳහා ඔහුගේ කුප්පි අසීමිත ලෙස උදවු විය.

අවසානයේ අපද ගොඩ දමා ඔහුද ඉහලින්ම ගොඩගියේ ලංකාවේ හෝ විදේශයක  ඕනෑම ආයතනයක සේවයේ යෙදීමේ හැකියාවද සමගිනි. එසේ ගියේ නම් අද වනවිට ඔහුට යාන වාහන සහ සියලූම පහසුකම් ඇතිව ඉහළ කලමනාකරුවෙකු වන්නට තිබිණ. එහෙත් ඔහු ඒවා අතහැර වඩා සුවිශේෂී මෙහෙවරක් තෝරාගත්තේය. සැබැවින්ම රබා උඹ හැබෑවටම උසය. උඹට ස්තුති කිරීමට අද තරම් සුවිශේෂී දිනක් තවත් නැත්තේය.


”පරා හෙවත් මගෝඩියා” යන අන්වර්ත නාමය දරන මංජුල පරාක‍්‍රම යනු අපේ බැච් එකේ සුපිරි නිර්මාණකරුවා වේ. ඔහුගේ නිසඳැස් ඒ යුගයේ කලාකවය හරහා අපි රසවින්දෙමු. වැලිකැට වැස්ස නමින් මෑතකදී කවි පොතක් ප‍්‍රකාශයට පත් කළේ ඔහු වේ. ඔහුගේ දේශපාලන දෘෂ්ඨියද සුවිශේෂී එකක් වන්නේය.

විසිපස් වසරක මහඟු ගුරු ජීවිතයක උරුමය සමරණ රවීන්ද්‍ර බණ්ඩාර සොහොයුරාණනි,

ඔබට මතකද අපට වසන්තය හමුවුනේ දීර්ඝ සීත කාලයකට පසුවයි. ඒ භීමසමය අපට බොහෝ දේ අහිමි කළා. සමහර මල් කැකුළු සීතලටම මියැදුනා. සමහරක පෙති කඩා වැටුනා. ඒක හරිම දුෂ්කර කාලයක්.

අන්තිමට අපටත් වසන්ත කාලය උදාවුනා. ඒ සුන්දර වස්සානයට අපි ගුලිවුනේ් හන්තානෙදි. ඒ සමය බොහොම චමත්කාරයි. එහිදී අපට පුළුවන් වුනා වසන්තය වගකීමෙන් බෙදා හදාගන්න. ඇත්තටම ඒ නිම්නය සහෝදරත්වයේ උණු කඳුළු, මනුෂ්‍යත්වයේ සහ පේ‍්‍රමයේ තුහින, බුද්ධියේ සහ ඥානයේ මකරන්ද තැවරුනු, තරුණ සිත්මල්යායකින් සුපුෂ්පිත වුනා.

කොතරම් අගහිඟකම්වලින් පිරී තිබුණත් එහිදී අපේ ජීවිත ගෙවී ගියේ ඉතාම සැහැල්ලූවෙන්. හඬනගා සිනාසුනු වාර වගේම සංවේදීව කඳුළු සලපු අවස්ථාත් නොතිබුනා නොවේ. ගැඹුරු විෂය කරුණු වලට දැහැන්ගත වීමට සමගාමීව කලාව සහ සාහිත්‍යයට ඇලූම් කරමින් පුළුල් ජීවන දැක්මක් ඇති කර ගැනීමටත් අවස්ථාව විවර වී තිබුනා. හරිත වර්ණ කඳුයායටත්, මාවැලි නදී තීරයටත් යොමාගත් නෙතින් යුතුව නැවුම් සුසුමින් හද පුරවා ගන්නාවිට දැනෙන සැහැල්ලූව අදටත් සිහිනයක් සේ සිත් පුරා සැඟවී තිබෙනවා.

මේ පින්බිමේදී අප විසින් උපයාගත් මහරු ධනය නම් සැබෑ සහෝදරත්වයයි. කාලය ඉක්ම ගියත් අපට මිදෙන්න බැරි අසිරිය එයයි. ලෝකේ කොහේ හරි සිටින අපේ එකෙකෙුගේ මුහුන දකිනකොට අමුතුම ප‍්‍රබෝධයකින් සිත පිරී යනවා.

මේ සහෝදර සමාගම තුළ පුංචි කුරුල්ලෙක් හිටියා. ඔහුගේ මුවේ නිතරම රැුඳුන ගීතය තමයි 

”කොණ්ඩ කිරිල්ලියේ......
කොණ්ඩෙ කපනවාද, බඳිනවාද කියාපන් එයා...”


ඔහු හරිම අහිංසක සගයෙක්. සෑම රාත‍්‍රියකම පාහේ කොරිඩෝව මැදට එන ඔහු හඬනගා හැමෝගෙන්ම ඇහුවා

”දැන් මගේ අහිංසක කෙල්ල මොනව කරනවද දන්නෙ නෑ නේද”

කියලා. මේක ඇහෙනවිට අපි දන්නවා ඔහු කවුද කියලා.

ඔහු පුංචි මානවයෙක් උනත් ලොකු වැඩ කොටසක් කරමිනුයි හිටියේ. ඈත ගම් දනව්වල තරුණ ගැටව්, ගැටිස්සියෝ විශාල ප‍්‍රමාණයකට ඒ වනවිටත් ඉංජිනේරුවන් වීමේ මාවත එළි පෙහෙළි කරදීමට ඔහු සමත් වී සිටියා.

එතැන ඉගැන්නුවේ ගණිතය පමණක් නොවේ. මනුෂ්‍යත්වත් ඉගැන්නුවා. සතා සිව්පාවා ගහකොළට ආදරය කරන හැටි, රට ජාතියට ආදරය කරන හැටි, සමාජ හර පද්ධතිය ගැන බොහෝ දේ ඉගැන්නුවා. විටෙක අපේත් ගණිත ගුරුවරයා වූ ඔහුට අවශ්‍ය වී තිබුනේ බුද්ධිමත් මෙන්ම හදවතක් සහිත පරපුරක් රටට දායාද කිරීම බව මගේ හැඟීමයි.

ආදරණීය දුවා දරුවනි ඔහු ඔබට පියෙකු මෙන් ආදරය කරනු ඇත. මහා ජීවන ගිරිදුර්ගයේ තරණයට අවැසි මනා පිටුවහලක්, මහා සවි බලයක් නිතැතින්ම ඔබට ඔහුගෙන් ලැබෙනු ඇත. බුද්ධිමත් මෙන්ම උතුම් මිනිසකු වන හැටි ඔබට හොඳින්ම කියාදෙනු ඇත.

ආදරණීය රවීන්ද්‍ර බණ්ඩාර සොහොයුර 92 ඉංජිනේරු කණ්ඩායමට ඔබ සැබෑම ආඩම්බරයකි. තවත් පියවර දහස් ගණනක් ඉදිරියට යෑමට අපි ඔබට හදවතින්ම සුබ පතමු. සැබෑ මානවීය ගුණාංගයන් සහිත ඉංජිනේරු දරු දැරියන් දහස් ගණනකට නිසි මාවත විවරකර දීමට අවශ්‍ය යෝධ ශක්තියෙන් ඔබේ ජීවිතය තව තවත් පිරී යෑමට සුබ ප‍්‍රාර්ථනා කරමු.

ඔබේ විසිපස් වසරක ගුරු ජීවිතය තවත් අඩ සියවසක් ඉක්ම යනතුරුත් යෙහෙන් වැජඹේවා යැයි ඉතසිතින්ම ප‍්‍රාර්ථනා කරමු.

මෙයට
මංජුල පරාක‍්‍රම

3 comments:

  1. වටිනා මිනිසෙක් ගැන අගනා සටහනක්. ජයවේවා !!!

    ReplyDelete
  2. ඔබ ගැන මුළින් දැනගත් වෙලේ ඉංජෙක් නොවී ටියුෂන්කාරයෙකු සේ සිටීම ගැන මට කණගාටුවක් මුලින් ඇති වී තිබුණත්, දැන් එය දුරු වුණා.

    ඉතාමත්ම සතුටුයි ඔබේ ගමන ගැන.

    ජයවේවා!

    ReplyDelete
  3. මමත් ඉන්ජෙක්. ඔහුට වඩා ලාබාල ඉන්ජෙක්.
    මගේ සිහිනය වුනේ ටියුශන් තරුවක් වීම.
    නමුත් එය සිතූ තරම් පහසු කටයුත්තක් වුනේ නෑ.
    මම එයින් අසමත් වුනා.
    සැබෑ හිතවත් මිනිසෙක් වූ ඔහු එයින් ඉහලින්ම සමත් වූ සුපිරි තරුවක්.

    මට ඔහු මුනගැසී ඇත්තේ එකම ආයතනයක එකම විශය උගන්වන ගුරුවරුන් ලෙස දෙතුන් වතාවක් වූවත්, ඒ දෙතුන් වතාවේදී මිනිසත්බව පිරුනු ඔහුගේ හිතවත්කම ඇදිනගැනීමට මට ගත වූයේ නිමේශයක් පමනයි

    ReplyDelete