Saturday, August 20, 2016

පන් විසි වසරක රිවි වරුණ - රවීන්ද්‍ර බණ්ඩාර ප්‍රත්‍යාවලෝකන



විසිපස් වසරක ගුරු භූමිකාවේ සැමරුම වෙනුවෙන් ගුරු උපහාරය හා ගී රසවින්දන වැඩසටහන සැප්තැම්බර් 16 දින බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් එලි දක්වන සමරු කළඹට අතීතය ස්මරණය කරමින් වචන ටිකක් ලියන්න පරණ ගෝලයන්ට, අලුත් ගෝලයන්ට, බැචාලට, බැචීලට වගේම පාසල් මිතුරන්ට ඇරයුම් කරනවා.බැචෙකුගේ අතීත ආවර්ජනය මේ සමඟ ඉදිරිපත් කරන්නේ කිසිඳු සංශෝධනයකින් තොරවයි. (මගේ රෙදි ගලවා තිබුනත්) මට ඇඬුනා බං උඹේ වචන ටිකට ඉන්දරේ..



රවී ගැන  මාගේ පළමු මතකය 1994 intensive පාඨමාලාව දක්වා දිව යන්නකි. අප දෙදෙනාම සිටියේ එකම ඉංග්‍රීසි  පන්තියකය. එලෙසම ඔහු මගේම  පන්තියේ සිටින්නෙකු බව මට පසුව වැටහුණි. පන්තියෙහි  බණ්ඩාරයන් දෙදෙනෙකු සිටියහ. අපගේ ගුරුතුමියට TMARA බණ්ඩාර සහ AMPCT බණ්ඩාර යන නාමයන් නිතර වැරදුනි. ඇය අපගේ කතා නායකයා හැදින්වූයේ පොඩි බණ්ඩාර ලෙසය. ඇයගේ ලොකු බණ්ඩාර පසු කලෙක අන්තරයෙහි ලොක්කා වූ අතර, පොඩි බණ්ඩාර අරභයා එතුමියට බරපතල වැරදීමක් සිදුවූ බව දැන් නම් සිතෙයි.



විශ්ව විද්‍යාල පළමු වසර යනු ඇති දුෂ්කර අත්දැකීම් සහිත කාලයකි. එය බොහෝ පුද්ගල අනන්‍යතා ඉස්මතුවන, විවිද පුද්ගල අනන්‍යතාවන් එකට ගැටෙන නිදහස් අවකාශයක් විය. එලෙසම පුද්ගල න්‍යාය පත්‍රයන් සදහාද සුවිසල් ඉඩක් එතුල තිබුණි. රවිට කිසිදා පුද්ගල න්‍යාය පත්‍රයක් නොතිබුණි. නමුත් පොදු න්‍යාය පත්‍රයක්ද එලෙසම තිබුණි. පසුව එලඹුනු ඉදිරි වසර 4 තුලදීම අපගේ විෂය කරුණු සියල්ල ඉගැන්වීම් කලේ ඉංග්‍රීසියෙනි. එම විෂය කරුණු තේරුනු අය අතර ඉදිරියෙන්ම සිටියේ ඉගැන් වූ  ආචාර්ය වරුන් මිස අප  නොවේ. කුප්පි සංකල්පය කවදා කවුරුන් සොයා ගත්තද එය අදුරේ ඇත පත ගෑ අපගේ එකම පිහිටට එන්නේ එවිටය. කුප්පිය එහි අර්ථයෙන්ම ඉතා දුප්පත්ය. මහා දීප්තියක්ද නැත, ආලෝකයද පතුරයි. තවකෙකුට පහනක් දැල්වීමට අවැසි ගින්දරද සපයයි. එය පන්දමක් හෝ මිල අධික විදුලි  බල්බයක්ද නොවේ.



සැමුවෙල් මහාචාර්යතුමන්ගේ  ගණිත සංකල්පයන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගැන්මට අපි උත්සුක වූවද එහිදී අපි අතිශය අසාර්ථක වීමු. රවියා එය උගත්තේ ගණිත භාෂාවෙන් මිස ඉංග්‍රීයෙන් නොවේ. පළමු වසර ගණිත කුප්පිය කලේ රවියාය. කුප්පියෙහිදී රවියා එය අපිට උගැන්වූයේ   අපේ භාෂාවෙනි. පොඩි බණ්ඩාරයා පළමු වසරේහිදීම යෝධයෙක්ව නැගිට අප එතෙර කරවීය. එකල ඉතා විශිෂ්ට ලෙස කුප්පි කළවුන් අතර රවී, සසුන් ගතවූ කාන්චන, ෆවුසි ( නිවැරදි විශිෂ්ට සිංහලෙන් කුප්පි කල මුස්ලිම් සොයුරා), සූරිය බණ්ඩාර සහ  අසේල අය්යා ප්‍රමුඛය.


පළමු වසර විභාගය අප බොහෝ  දෙනෙකුට විභාග අසමත්වීමෙහි නීරස අත්දැකීම් පළමු වරට කියා දුන්නක් වීය. රවී පළමු වසර විභාගය විභාගය විශිෂ්ට ලෙස සමත්විය. විභාග සමත් වූ  බොහෝ සිසුන් තම ගම බිම් බලා ගියද,   අසමත් වූ සොයුරන්  එම කඩ ඉමෙන් ගොඩ කරවීම රවී  සැලකුවේ තම වගකීමක් ලෙසය. ඒ වෙනුවෙන් ඔහු තම කාලය සහ ශ්‍රමය, දැනුම සහ අති විශිෂ්ට බුද්ධිය  මෙහෙයවීය. රවී අන් අයගෙන් වෙනස් වූයේ එහෙයිනි. ඔහු කිසිදු ආත්ම ලාබයක් නොපැතූවෙකි. රවී එනතුරු   අහිංසක කෙල්ලක් නොඉවසිල්ලෙන් බලා සිටි බවද අප දැන සිටියෙමු. අප අතර සිටි රජෙකු තමාගේ ගණිත විභාගය සමත් කරවීම භාර දී තිබුනේද රවියාටය.


 මා අප කතා නායකයා නිවැරදිව හදුනාගත්තේ දෙවන වසර තුල අප බලෙන් පදිංචිව සිටි ඇහලමල්පෙ නේවාසිකාගාරයෙහිදීය. ඒ සුවිසල් ගණිත පෞරුෂය කෙතරම් නිරහංකාර, සරළ, සොදුරු සහ අහිංසක මිතුරෙක් දැයි මට වැටහුනේ එහිදීය. යම් සංකීර්ණ ගණිත ගැටළුවක් යමෙකුට පහදා දීමට ඔහු ඉදිරිපත්වූයේ ස්වේච්චාවෙනි. ඔහු ඒ  වෙනුවෙන් කැපකලේ තම විභාගය සමත්වීමට යෙදවිය යුතු තමාගේ කාලයයි. කුප්පි කිරීමට යාමෙන් තම විභාග ප්‍රතිපල දැඩි  අවදානමක තිබූ බව ඔහු හොදින් දැන සිටියේය. රවී යනු තම  නිසැක පළමු පන්ති සාමාර්ථය අප වෙනුවෙන් නොමසුරුව අත් හල විශිෂ්ටයෙකි. අප අතර සිටි ඇතැමුන් පන්ති සාමාර්ථය සදහා අප අතහැර දැමූවද, රවියා කලේ පළමු පන්තිය හැරදා අප වැලද ගැනීමය. එය විශ්ව විද්‍යාල ජීවිතය තුරාවට අප දිනපතා ඔහුගෙන් අත්  වින්දෙමු.




රවියාගේ ගණිත  කුප්පි වලට විකල්පයක් ලෙස මතු වීමට වෙර දැරි   චරිතයක්ද අප අතර සිටියේය. විභාගයක් ආසන්න වූ විටක ඔහු විසින් කලාවූ එම කුප්පිය අසාර්ථක වූයේය. එහිදීද අප ගලවා ගත්තේ රවියාය. එය රහසින් සහ අදාළ පුද්ගලයාගේ සිත නොරිදෙන ලෙස කිරීමට ඔහු වග බලාගත්තේය. පෙරකී කුප්පියට රවියාද සහභාගී විය. ඒ ඔහුගේ නිරහංකාර බවය. තම දැනුම බෙදා දීමෙන් ඔහු කිසිවක් ලබාගත්තේද අත හැරීයේද  නැත. ගණිතමය නොවනා සාම මාතෘකාවන් කේන්ද්‍රගතවූයේ  අප කිසිදා නුදුටු අහිංසක කෙල්ලක් වටාය . ඔහුගේ දැනුම සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූවක් විය. අප නිශ්චිතව හදුනා සිටි  ගණිතයෙහි දක්ෂයින් රවීගේ කුප්පිය මග නොහැරී බව නිසැකය. නමුත් අන් විශයන් හි එය එසේ නොවීය. ගණිත කාරණයන්හිදී ඔහුව ඇන්නීම අසීරු බව අප හොදින් දැන සිටියක් වීය.


රවියාගේ ගෝලයින් E 93 න් පටන් ගත්  බව මට එවකට ඇදහීමටත් අසීරු වූවද යථාර්තයට සමීප වූයේ එයයි. ඒ හා සමාන්තරවම අපද නොදැනුවත්වම ඔහුගේ ගෝලයින්ව සිටියෙමු.
  


රවියා සහ අලයා ජල ස්නානය කිරීම ඉතා විරල දසුනක් විය.  ඔවුන් පවසන්නේ තමන් දිනපතා ස්නානය කරන බවය. නමුත් එහි factor එක 180ක් පමණය. එනම් නාන්නේ දින 180කට එකක් පමණක් බවය. චන්ද්‍රිකා රජය පළමු ජල විදින ප්‍රහාරය අත්හදා බලමින් එය  එල්ල කලේ අලයාටත් අප කතා නායකයාටත්ය. එහිදී ඔවුන් දෙදෙනා පමණක් පසුව  නැවත උද්ගෝෂණයක්  කර ඉල්ලා ඇත්තේ තමන්ට බැටන් ප්‍රහාර පමණක් එල්ල කරනා ලෙසය. තමන්ට පහර දෙන ලෙස කල පළමු උද්ගෝෂණය එයම විය.


රවියා මට එපාම වී ගියේ පෝස්ටර් ගැසීමකදීය. ඩබල් දාගෙන බයිසිකල් පැදීමේදී  පිළිගත් ආචාර දර්මය නම්, උසින් සහ පරිමාවෙන් වැඩි තැනැත්තා එය පැදීමය. නමුත් එක අදුරු රැයක මගේ පෝස්ටර් සගයා වූයේ මොහුය. එම රාත්‍රිය පුරා ඔහු පැය 4ක් පමණ ඉතා අසීරුවෙන් බයිසිකල් පොල්ලේ වාඩිවී සිටි අතර, මම කලේ ඉතා පහසුවෙන් ආසනයෙහි වාඩිවී බයිසිකලය පැදීමය. අප දෙදෙනාගේ සිරස් පරතරය 2mm  පමණ වන්නට ඇත.


අලයා, තනියා සහ රවියා යනු මා බොහෝ ආදරය කල, ඇසුරු කල, ගරු කල චරිත ත්‍රිත්වයකි. එයිනුත් අලයා හට මාගේ  තිබූයේ බිය මුසු ගෞරවයකි. තනියා අතිශය කාර්ය බහුලව අන්තරය තුල ගිලී ගියේය. රවියා සුපුරුදු ලෙන්ගතු සිනහවෙන් සැමදා අප හා සිටියෙක් වීය. අප වෙනුවෙන් වූ මහා ලෙන්ගතු හදවතක් ඔහුගේ කුඩා රූපකාය තුල බැබලෙමින් තිබුනි.


සියරා ආයතනය තුල මොහු කුමක් කලේ දැයි මා නොදනිමි. ඔහුට සුදුසුම ආයතනය එකල්හි නම් ඩයලොග් ආයතනය විය. නමුත් ඩයලොග් ටයි පටිය රවියාට බර වැඩි බවද අපි දන සිටියෙමු.


ගණිතය ඉගැන්වීම  තම වෘත්තීය ලෙස තෝරාගැනීම ඔහු ගත්  විශිෂ්ඨ තීරණයකි. එහි ප්‍රතිපලයන් ලෙස එළිදුටුවේ සමස්ත ලංකා ප්‍රථම ස්ථාන, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන ආදී ලෙසය. ගුරුවරයෙකු ලෙස ඔහුගේ සාර්ථකත්වය දුරක සිට වුවද බොහෝ සතුටින්ද, නිවැරදි අනාවැකි වලින්ද මම ඇත වින්දෙමි. අතිශය පෞද්ගලික කාරණාවන් උදෙසා අප විදේශගත වූවද රවී කලේ තම ගම හා ප්‍රදේශය ආදරයෙන් වැලඳ ගැනීමය.



ස්තූතියි රවී!
තවත් එක් එන්ජිනේරුවෙක් නොවුනාට
බොහෝ ස්තූතියි රවී!!
ඉංජිනේරු වෘත්තීය හැර දැම්මාට,
හිස නමන්නම් රවී
ගණිතය ගීතයක් කලාට.

ඉන්ද්‍රජිත්

10 comments:

  1. // අතිශය පෞද්ගලික කාරණාවන් උදෙසා අප විදේශගත වූවද රවී කලේ තම ගම හා ප්‍රදේශය ආදරයෙන් වැලඳ ගැනීමය. //

    Respect!!!!!

    ReplyDelete
  2. රවී අපි දන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා.. මෙහි ඉන්ද්‍රජිත් රවී ගැන කියනා දේවල් සියල්ල ගැන 200 % ක් එකඟයි. රවී යනු ඉතා විරල ගනයේ මිනිස් ගුණාංග සහිත කලාතුරකින් හමුවන වර්ගයේ "සැබෑ මිනිසෙකි".

    ReplyDelete
  3. ස්තුතියි ඔබට
    ඇඩෙනවා කවිදු
    ඇගයීම් බර වැඩිද මන්දා
    සුනිල් අයියා කීවා වගේ ජීවිතය සුන්දරයි.

    ReplyDelete
  4. අද මා තැනත සිටින්නේද , එහි අයිතිකරුවා ඔබය.විටෙක ගණිතය විටෙක සංගීතය විටෙක දේශපාලනය....
    අහෝ ගුරුතුමනි....
    ඒ සොදුරු මතකයන් කෙසේ අමතක කරම්ද ?...
    දිනූෂ(2007 A/L)

    ReplyDelete
    Replies
    1. එය නම් අපූරු කතාව
      // විටෙක ගණිතය විටෙක සංගීතය විටෙක දේශපාලනය....
      අහෝ ගුරුතුමනි....
      ඒ සොදුරු මතකයන් කෙසේ අමතක කරම්ද ?.

      Delete
    2. රවීගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මෙහි කිසිවක් සදහන් නොකළේ සිතා මතා මය. එය වෙනම සදහන් කල යුත්තකි. බොහෝ සිසු අරගල සහ විභාගයන් ඇතැම් අවස්ථාවලදී සමපාත වුවද රවී තෝරාගත්තේ අරගලය මිස විභාගය නොවේ

      Delete
    3. උඹ තවත් අඩවන්න යන්නෙ බිල්ලෝ

      Delete
  5. ගණිතය කියන විෂය මගේ ඔලුවට දාපු විශේෂ පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමා අමරසිංහ සර්. දහය වසරේ දෙවැනි වරේදී ගණිතයට ලකුණු තිස් ගානක් තියෙද්දී ලබන වාරේ අසූවක් ගන්න පුළුවන් කියල වැළලිලා තිබුන මගේ ගණිත හැකියාව මතු කරලා ගත්ත අපූරු ගුරුතුමෙක් තමයි අමරසිංහ සර්. ඊලගට මට ගණන් පුළුවන් කියල ආපු ත්‍රිල් එකට AL වලටත් ගණිතය තෝරගත්තට අඩුම ගැනේ කැම්පස් යන්න ඕන කියලවත් අරමුණක් තිබුනේ නැති මට පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන්න පුළුවන් කියල ඉලක්කයක් දුන්නේ රවී සර්. හෙමීට ඔලුවට බස්සන තියරිය ඕනෑම ගානක් ගොඩ දාගන්න පුළුවන් විදිහට "කොන්ෆිඩන්ස්" හැදුවා වගේම විටින් විට කියන පේරාදෙණි රසකතා "කවදා හරි මම අක්බාර් මාලිගාවේ රජ බොජුන් වළඳනවා මයි" කියන ඇල්ම ඇති කළා. ඔබ දෙපල නොසිටින්නට මම අද ඉංජිනේරුවකු නොවන්නට තිබුනා.

    ReplyDelete
  6. සදාදර මතකයන්

    ReplyDelete