Sunday, August 7, 2016

සමරමි අතීතය මට අමතක නොවුන




2018 අවුරුද්දේ උසස් පෙළ ලියන කට්ටියගේ බණ්ඩාරවෙල පංතිය හාපුරා කියල පටන් ගන්න යන දවසේ කොල්ලො කෙල්ලොත් එක්ක අම්මලා තාත්තලත් ඇවිල්ලා හිටියා. ඒ අතර හිටපු එක අම්මා කෙනෙක්ගෙ දැකලා පුරුදු ස්වභාවයක් තිබුණා. ළඟටම ඇවිල්ලා කතා කරන කොටයි සිත අතීතයට ඇදිලා ගියේ. ඒ මගේ පලමුවෙනි රිවිෂන් පංතියට ආපු නංගියෙක්. ඒ කාලෙ ඉතිං මං සර් නෙවෙයිනෙ. රවි අයියානෙ. පන්තියේ හිටියේ නංගිලා, මල්ලිලා සහ මිත්‍රයෝනෙ. ඒ කෙල්ල විභාගෙ ගොඩ දාලා තෑග්ගකට මට ලා නිල් පාට ෂර්ට් එකකුත් ගෙනාව වග මට මතක් වුනා. මං ඒ ගැන කියද්දි එයා අහනවා “ආ... ඒකත් මතකයි නේද කියලා. ඕං ඉතිං ගණං මිනුං හදලා බලනකොටයි තේරුණේ මගේ ටියුෂන් ජීවිතේට අවුරුදු 25යි. ඒ කියන්නේ රිදී ජුබිලිය සමරන්නයි යන්නේ.

 
Add caption

දැං කියන්නම්කො මං උසස් පෙළට ඉගෙන ගත්ත අවදිය ගැන. 89-90 උසස් පෙළ පන්තිවල හිටපු කොල්ලො අතර හිටපු චරිත වල ජීවිතය ගැන අමුතුවෙන් කියන්න ඕනි  නෑනේ. කොහොමින් කොහොමින් හරි ජීවිතේ බේරා ගත්තා කියමුකො. අලුත් ලෝකයක් හදන්න ගියපු බලාපොරොත්තුත් ඔක්කොම බොඳ වෙලා ගියානෙ. ඒ කතන්දර පස්සෙ වෙලාවක කියන්නම්කෝ. හැම දෙයක්ම අහිමි වෙලා අනාථ වෙලා හිටපු මං ගොඩ එන මාර්ගය විදිහට අන්තිමේදි අධ්‍යපනය තෝරා ගත්තා.


හෙනම, හෙනම, හෙනම කට්ටක් කාලා උසස් පෙල ගොඩදාගත්තා කියමුකො උඩින්ම. ඒ කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවෙනි හොඳම ප්‍රතිඵලය මගෙන්.


විභාගයට කලින් අන්තිම කාලෙදි Pure, Applied ඉගැන්නුවෙ මගේම අයියා. ඒ මට විතරක් නෙවෙයි යාළුවන්ටත් එක්ක. ඒක සමන් අයියාගේ ආරාධනයෙන් කරපු පුංචි පංතියක්. අපේ පංතියෙන් පස්සෙ අයියා විශ්වවිද්‍යාලයට ගියත් එක්කම එයාගෙ මැත්ස් පංතිය නවතින අනතුරකට පත්වුනා.


ඔන්න ඔය කාලෙදි තමයි සමන් අයියා මට ආරාධනා කළේ අයියාගෙ පංතිය කරන්න. ඒ වෙනකොට මගේ ප්‍රතිඵල අවිල්ලත් නැහැ. භීෂණය නිසාම අධ්‍යාපනයෙන් ඈත් වුන යාළුවො සෙට් එකක්ම හිටියා. උන්ට උදව්  කරන්න ඕනි නිසා මං සමන් අයියගෙ ඉල්ලීමට කැමති වුනා. මගෙත් එක්ක එක පන්තියෙ හිටපු එකෙක් ගෙන්වත් එකියක් ගෙන්වත් පංති ගාස්තු ගත්තේ නෑ. විභාගෙ අතහැරලා ගමට වෙලා හිටපු ඒ අවිචාර සමයේ අසරණව හිටපු කොල්ලන්ව හොයාගෙන ගෙවල් වලටත් ගියා. උන්ව කැන්දන් ඇවිත් ඉගැන්නුවා. උන් කීප දෙනෙක්ම අද ඉංජිනේරුවෝ.


    ඔහොම යන කොට theory  පන්තිත් පටන් ගන්න කියලා සමන් අයියා කියපි. ඕං ඒවත් පටන් ගත්තා. මට ආදායමකුත් ලැබුණා. බොක්කෙන්ම ඉගැන්නුවා. ඉතාම ඉක්මනින් බණ්ඩාරවෙල වගේම බදුල්ලෙත් ජනප්‍රියම  Pure Applied  පංතිය බවට  පත්වුණා.
         

පළමුවැනි  theory  පංතියට ඉස්සෙල්ලම ආවේ කොල්ලො තුන්දෙනයි. අසංග ,කාවින්ද හා නන්දන    ඒ අයයි. ඉස්සෙල්ලම ආව කෙල්ලගේ නම ලක්මිණි. ඊට පස්සෙ රෝෂිණි,ඉන්දිකා ඇතුළු තවත් අය. 



    
ඒක A/L   අනුතුන පන්තිය. ඊට පස්සේ  A/L   අනු හතර පන්තිය. ඔය 94 පංතිය තමයි  ගොඩක්ම ජනප්‍රිය වුනේ. එතකොට බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ ඒ කියන්නෙ අපේ ඉස්කොලේ මැත්ස් කරන ඔක්කොම වාගේ   මගේ පන්තියට ආවා. ගොඩාක් මඩ පාරවලුත් වැදුණා. තාම Campus වත් ගිය නැති එවුන්ගේ  Class  යන්න එපා කියලා. අවසානයේ දි ඒ වෙනකොට බණ්ඩාරවෙල හොඳම මැත්ස් ප්‍රතිඵල ලැබෙන්නෙ මගෙ පන්තියෙන්. මහ විද්‍යාලයෙන් වැඩිම පිරිසක් ඉංජිනියරින් ගියේ ඒ අවුරුද්දෙ. එතකොට මං ගැන ලොකු කතාබහක් ඇති වුණා. එදා ඒ පංතියේ ගෝලයෝ අදටත් මාගේ හිතවතුන්. රටේ පිළිගත්  ඉංජිනේරුවෝ  පහළවක් විතර ඒ අතර ඉන්නවා. අද මාගේ ජීවන සහකාරියත් ඔය පන්තියේ හිටියෙ. ඒ කතාවන් පස්සට දාමුකො.


      දැන් පණිවිඩය  මේකයි.  අවුරුදු විසිපහක් වුණු මාගේ ගුරු ජීවිතයේ ගෝලබාලයන් ගොඩයි. මගේ ජිවිතයම වාගේ ඉගැන්විමයි. ඉතිං මට හිතුනා ඕක සමරන්නත් එක්ක පොඩි වැඩසටහනක් කරන්න. 


    දවස තමයි සැප්තැම්බර් මාසේ  දහසය වෙනිදා.  එදාට පෝය  නිසා කාටත් පහසුයි. වැඩේ කොරන්නෙ බණ්ඩාරවෙල නගර ශාලාවේ.


    ප්‍රධානම කර්තව්‍ය තමයි ගුරු උපහාරය. මේකට මං තෝරාගත්තෙ මගේ ටියුෂන් ගුරුවරුන්වයි.


   A/L   කරද්දි මට ඉස්කොලේ යන්න ලැබුණෙ මාස තුනක් විතර.    ඉතින්  මගේ ජීවිතයට ගොඩක් දේ ලබා ගන්න ටියුෂන් බලපෑවා.   


 ඉස්කොලෙන් පිටමන් වෙච්ච නිසා කාලයක් බණ්ඩාරවෙලත් පසුව  නුවරත් ටියුෂන් ගියා. මගේ අධ්‍යාපන ගමන සාර්ථක කරගන්න මට හොඳම ටියුෂන් ගුරුවරු ටිකක් හමුවුනා. බණ්ඩාරවෙලදි රසායන විද්‍යාවට පන්ති ගියේ සමන් අයියාගේ. මාව පන්තියෙන් එළවලත් තියෙනවා. මං හිතන්නේ සමන් අයියාගෙන් වැඩියම ගුටි කාලා ඇත්තේ මං වෙන්න ඇති. ඒ මගේ කවටකම් කටකාරකම් නිසා. ඒත් මං සමන් අයියාගේ හොඳම ගෝලයෙක් වුනා. රසායන විද්‍යාවට A ගත්ත කීප දෙනා අතරෙ මාත් හිටියා. Pure, Applied වලට පන්ති ගියේ පියරත්න සර්ගේ. ඒ කියන්නේ පියාගේ. මාස කීපයයි යන්න ලැබුනේ. නමුත් Maths වලට ආශාව ඇතිවුනේ එතනදී. ආයුපාල සර්ගෙනුත් අන්තිම කාලෙදි විජේන්ද්‍ර අයියාගෙනුත් උදව් ගත්තා. Physics වලට ගියේ පානි සර්ගෙ පන්තියට. නොදන්න දෙයක් නෑ. කලාව ගැන වාමාංශික දේශපාලනය ගැනත් දුන්න දැනුම බොහොමයි. ජීවිත ආරක්ෂාව පතා මාතලේට ගියාට පස්සේ ආයෙත් ටියුෂන් ගියා. Physics වලට වටේම ගියා. ඒත් පානි සර් වගේ කෙනෙක් හමුවුනේ නෑ. අන්තිමට කීර්ති ධර්මසිරි සර්රුයි, රුවන් සර්රුයි හමුවුනා. කීර්ති සර් නිතර  Electrical and Electronic Engineering ගැන කියනවා. එතනදි තමයි මගෙ ඔලුවට ගියේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ඉංජෙක් වෙන්න ඕනි කියලා.


Maths වලට ගියේ අයිලප්පෙරුම සර් ගාවට, මායි අපේ ඉස්කෝලෙ උපුල් අයියයි තමයි එක ළඟ හිටියේ. සුපිරිම Maths ගුරුවරයෙක්. ඇත්තටම මං ඔහුව අනුගමනය කරනවා. ගණිතයේ සිද්ධාන්ත නියම අර්ථයෙන් ඔලුවට දාන්න ඔහු තරම් සමතෙක් නෑ. අන්තිම කාලෙදි විජේන්ද්‍ර අයියාගේ කෙටික්‍රමත් මට ඉතාම වැදගත් වුනා. Chemistry වලට නුවරදි රාජකරුණා සර්රුත්, සරත් විජේකෝන් සර්රුත් හමුවුනා. ඉතිං ආයෙත් අපි වැඩසටහනට එමු. සමන් අයියාත්, පියරත්න සර්රුත් ඉතාම කැමැත්තෙන් ආරාධනය පිළිගත්තා. පානි සර්ට කතා කලේ අවුරුදු  10 කට විතර පස්සෙ. මාව හොඳට මතකයි. ඉන්නෙ කොළඹ අනිවාර්යයෙන් එන බව කිවා. කීර්ති ධර්මසිරි සර් කියන්නේ අද විදුලි බල මණ්ඩලයේ ඉහළම තලයේ ඉන්න කෙනෙක්. “මොන වැඩය යෙදුනත් රවීන්ද්‍රගෙ වැඩේට එනවා. කියලා කිව්වා. තිලක් රාජකරුණා සර්රුත්, රුවන් සර්රුත් එයි. තාම කීවේ නෑ. අයිලප්පෙරුම සර් ජීවතුන් අතර නැහැ. හිටියානම් අනිවාර්යයෙන්ම ප්‍රධාන අමුත්තා. එදාට මං එතුමන්ව ගෞරවයෙන් සිහිපත් කරනවා.




O/L වලට උගන්වපු සර්ලා Set එකත් එනවා. අමරසිංහ සර්, යාපා සර් ඒ අතර ඉන්නවා. එතකොට උදව් කරපු මුත්ත සර්, ඒ කියන්නේ විජේරත්න සර්.

    
 ඉතිං ඔය කියන  වැඩේට  සම්බන්ධ වෙන්න කියලා  මගේ පරණ  හා අලුත් ගෝල බාලයන්ට ඇරයුම් කරනවා.එදාට රවි අයියාගෙන් ඉගෙන ගත් අයටයි රවි සර්ගේ ගෝලයන්ටයි  ගි රස වින්දන වැඩසටහනකුත් තියෙනවා. ඒක මෙහෙයවන්නෙ ධම්ම්ක බණ්ඩාර.  අර හන්තානට පායන සඳ   ,  “මගේ පුංචි රෝස  මලේ“  ගීත ලියපු  කෙනා.   


 


 
තවත් ලස්සන වැඩ ටිකක් තියෙනවා. හැම දෙයක්ම කලින් කිව්වම ගතියක් නැති . එදාට  පානි සර්,  කීර්ති සර්  එහෙමත් සිංදු කියයි.  තව දේශන වගේකුත් තියෙනවා.  




වැඩේ  නිකන්  Back to Tuition    වගේ තියෙයි. මට ආදරේ කරපු හැමෝටමයි  මාගේ ඇරයුම.


පසුව ලියමි
වැදගත්ම කෙනෙක් ගැන කියන්න අමතක වුනා. හද්දා පිටිසර ගමක ඉස්කෝලෙ ගිය මං ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච නිසයි නගරෙට ආවෙ. ශිෂ්‍යත්වෙට ඉගැන්නුවෙ පල්ලලෙකුඹුරෙ ටීචර්. එතුමිය හවස පන්ති කළේ කිසිඳු අයකිරීමකින් තොරව. එතුමියටත් ඉතාම ගෞරවයෙන් ඇරයුම් කළා. ගොඩක් වයස වුනත් පිං බලය නිසා හොඳින් ඉන්න එතුමියත් වැඩේට සම්බන්ධ වේවි.

8 comments:

  1. /* ප්‍රධානම කර්තව්‍ය තමයි ගුරු උපහාරය. මේකට මං තෝරාගත්තෙ මගේ ටියුෂන් ගුරුවරුන්වයි. */

    අනිවාර්යෙන් ම!
    නැතුව පාසලේ ගුරුවරුන්ව ගෙන්නන එකේ තේරුමක් තියේයැ?

    ReplyDelete
  2. මේ කතාවේ කියවෙන්නේනේ බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ උසස් පෙළ කළ, නමුත් කිසි දිනක ටියුෂන් නොගිය ගෑල්ළමයෙකු ගැනයි.

    http://kathandara.blogspot.com/2013/12/bloggers-wife-boasts.html


    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් මට වැටුනේ නෑ

      Delete
  3. /* ඒ අතර හිටපු එක අම්මා කෙනෙක්ගෙ දැකලා පුරුදු ස්වභාවයක් තිබුණා. ළඟටම ඇවිල්ලා කතා කරන කොටයි සිත අතීතයට ඇදිලා ගියේ. ඒ මගේ පලමුවෙනි රිවිෂන් පංතියට ආපු නංගියෙක්. */

    විෂම චක්‍රය දිගටම කැරකෙනු ඇත!

    ReplyDelete
  4. කියවමින්...............

    ReplyDelete
  5. ස්තූතියි රවී!
    තවත් එක් එන්ජිනේරුවෙක් නොවුනාට
    බොහෝ ස්තූතියි රවී!!
    ඉංජිනේරු වෘත්තීය හැර දැම්මාට,
    හිස නමන්නම් රවී
    ගණිතය ගීතයක් කලාට.

    ඉන්ද්‍රජිත්

    ReplyDelete
  6. ස්තූතියි රවී!
    තවත් එක් එන්ජිනේරුවෙක් නොවුනාට
    බොහෝ ස්තූතියි රවී!!
    ඉංජිනේරු වෘත්තීය හැර දැම්මාට,
    හිස නමන්නම් රවී
    ගණිතය ගීතයක් කලාට.

    ඉන්ද්‍රජිත්

    ReplyDelete