Tuesday, June 21, 2016

අප්පොච්චිගේ ඉස්කෝලේ

බණ්ඩාරවෙල ඉඳන් ඇටම්පිටිය පාරෙ යනකොට දියවුන්නාවෙන් හැරිලා කන්දක් නගින්න තියෙනවා. ඒ කන්ද නැගලා වංගු පාරවල් ඔස්සේ ඉදිරියට යනකොට ලස්සන ගමක් හමුවෙනවා. ඒ ගමේ නම ඇත්තලගෙදර. වටේටම ලස්සන කඳුවැටි. ගම පුරා විහිදුනු කුඹුරු අමුතුම සුන්දරත්වයක් මවනවා.


මේ ගමේ තියෙන ඉස්කෝලෙ තමයි ඇත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය. 2012-2013 අවුරුද්දේ ජාතික ඵලදායිතා තරඟයෙන් ලංකාවෙ දෙවැනි තැනට පත්වුනේ මේ ඉස්කෝලෙ. දැන් මං කියන්න යන්නෙ ලස්සන කතාවක්. හිතාගන්නවත් බැරි වේවි. ඒත් ආදර්ශයක්. ලොකු ආදර්ශයක් තියෙන නිසා කියවලම බලන්න.


දැන් අපිට යන්න වෙනවා එක් දහස් නවසිය පනස් ගනන් හැට ගනන් වලට. එතකොට මේ ගම ඉතාම නොදියුණුයි කියන එක පැහැදිලිනේ. ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමිකම තිබුන අහිංසක ජනතාවක් එහි ජීවත් වුනා. ගමට එන්නට හරි හමන් පාරක් තිබුනේ නෑ. ගමේ වත් අල්ලපු ගමේ වත් ඉස්කෝලයක් නෑ. කොල්ලෝ කෙල්ලොන්ට ඉස්කෝලෙ යන්න කොහොම කට්ටක් තියෙන්න ඇතිද? ඉස්කෝලෙ යන්න නම් ගම් දෙකක් පහු කරලා වෑපස්සාවෙලට යන්න වෙනවා. ඔය අතරෙ ගමේ හිටපු සියාතු මාමා තමාගේ පුතා වෙච්චි බණ්ඩාර කොල්ලව ඉස්කෝලෙට යවනවා. කොහොමෙන් කොහොම හරි සාස්තරේ ඉගෙන ගෙන, ගුරු විද්‍යාලෙටත් ගොහින් බණ්ඩාර කොල්ලා ඉස්කෝලෙ මහත්තයෙක් වෙනවා.


දියතලාව, ඇත්තලපිටිය වාගේ නොයෙක් ප්‍රදේශවල ඉස්කෝල වල ගුරුවරයෙක් විදිහට සේවය සපයනවා. ඔන්න ඔය අතරෙදි දිරිමත් මිනිසකු වෙච්චි බණ්ඩාර ඉස්කෝලෙ මහත්තයා හීනයක් හදා ගන්නවා. මොකක්ද ඒ මගේ ගමට ඉස්කෝලයක්. මගේ ගමට පාරක්. ඇත්තටම ඉස්කෝලෙ මහත්තයෙකුට මෙහෙම දෙයකට අතගහන්න පුලුවන්ද? ඒත් ඔහු වෙනස්. ගෙයින් ගෙට ගොස් ගැමියන්ට මෙහි වටිනාකම කියලා දෙනවා. දැනුම් තේරුම් කමක් තිබුන පිරිසක් ඔහු වටා එකතු වෙනවා. ඉස්කෝලෙට ගොඩනැගිල්ලක් ශ්‍රමදාන මගින් ඉදිවෙනවා. ඒත් කෝ අනුමැතිය. හැතැප්ම ගණන් පයින් ගොස් අධ්‍යාපන බලධාරීන්, දේශපාලකයන් හමුවී එය සැබෑ කර ගන්නට ගත් වෙහෙස ගැන නම් ලියන්නට පිටු සියයක් වත් යාවි. කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙ පටන් ගත්තා කියමුකෝ. ආරම්භක ලොකු මහත්තයා වෙන්නේ සිල්වා කියලා කෙනෙක්. බණ්ඩාර මහත්තයා ඒ කියන්නේ ගමේ කවුරුත් කියන විදිහට “පඹේ” මහත්තයත් ඒ ඉස්කෝලෙම වැඩ කරනවා. ආරම්භක කාලයේ ගුරු වැටුප් පවා ගෙවුනේ බණ්ඩාර මහත්තයාගේ පෞද්ගලික මුදලින් බව මට ලඟදි දවසක පන්සලේ ලොකු හාමුදුරුවෝ කීවා. ගුරු ගීතයේ දුයිෂෙන්ගේත් ඇත්තලගෙදර ගමේ බණ්ඩා මහත්තයාගේත් තිබුණ අරමුණු සමානයි නේද කියලත් වෙලාවකට හිතෙනවා.


දැන් කතාව ටිකක් වෙනස් වෙනවා. ඔය කියන ඇත්තල ගෙදර තමයි මගේ ගම. පහේ පන්තියට එනකම් ඉගෙනගත්තෙ තක්ෂිලාවේ. ඉස්කෝලෙ පන්ති තිබුනෙත් පහේ පන්තියට වෙනකම් විතරයි. මුළු ඉස්කෝලෙටම තිබුනේ එක ශාලාවයි. මං හෝඩියෙ පන්තියෙ ඉන්නකොට ගුරු මණ්ඩලය පහයි. බණ්ඩාර මහත්තයා තමයි ලොකු පුටුවෙ හිටියේ. මං පහේ පන්තියට එනකොට ඉස්කෝලෙම ගුරු මණ්ඩලය හතර දෙනයි. උපසේන මහත්තයා තමයි මුල් ගුරුතුමා. පල්ලෙ කුඹුරේ නෝනයි එතුමයි තමයි 3,4,5 පන්ති වලට ඉගැන්නුවේ. අපේ අම්මා වෙච්චි අනුලා රත්නායක මහත්මිය තමයි හෝඩිය, 1 හා 2 පන්ති වලට ඉගැන්නුවේ.


මං හෝඩියේ ඉද්දි ලොකු ඉස්කෝලෙ මහත්තයා වෙලා හිටියේ අර බණ්ඩා මහත්තයා. හරිම තේජාන්විතයි. අඳින්නේ ජාතික ඇඳුම. පහේ පංතියට සිංහල උගන්වනවා මං බලන් හිටියා පොඩි එකා කාලේ තාමත් මතකයි. ඒත් ඒ උත්තම පුරුෂයා මං හතරෙ පංතියෙ ඉඳිද්දි මේ ලෝකෙ හැරගියා. මං ජීවිතේ වැඩිම දුක්වුන දවස එදා. ඒත් ඒ කාලෙ මං අඬන්න ලැජ්ජයි. ඇඬුවේ හැංගි හැංගි.



ඇත්තලගෙදර තක්ෂිලා විදුහලේ නිර්මාතෘ හා 
හිටපු විදුහල්පති P.T.M.K. බණ්ඩාර මහතා


විශ්වාස කරන්න බණ්ඩෙ මහත්තයා තමයි මගෙ අප්පොච්චි. මා අද යම් සාර්ථකත්වයක් ලබා තිබේ නම් එහි ප්‍රධාන ආදර්ශය ඔහුම වේ. අපේ ගෙදර හැමෝම පුංචි කාලෙ ඉගෙන ගත්තේ තක්ෂිලාවේය. පස්වැන්නේ ශිෂ්‍යත්වය සමත් වූ පසුව අපි බණ්ඩාරවෙල මහ විද්‍යාලෙට එනම් කිණිගම පාසලට ආවෙමු. අපේ ගමේ සිට බස් එන පාරකට ඒමට පැයක් පමණ පයින් යා යුතුව තිබුනි. එසේ යායුතු වන්නේද අගලක් වැනි පාරකය. ඉදින් අපේ අප්පච්චි කළ උතුම්ම මෙහෙවර වන්නේ බණ්ඩාරවෙල තන්තිරියෙන් කුඩා ඉඩමක් හා ගෙයක් ගෙන අපව එහි නවතා තැබීමයි. ඉවුම් පිහුම් කටයුතු කරන ලද්දේ අක්කලා විසිනි. ඒ පාසල් යන ගමන්මය. බණ්ඩාරවෙල මහ විදයාලයට පැමිණ අත්විඳි දෑ ඊළඟ ලිපියකින් ඉදිරිපත් කරමි. ඉස්කෝලෙ යන්නට මුලින්ම සපත්තු දැම්මේද මහ විද්‍යාෙලට ආ පසුවයි. සපත්තු දෙකක් අරන් දීමට අම්මාට අප්පච්චිට වත්කමක් තිබුනද ගමේ අනෙක් ළමයි හා සම මට්ටමේ අපව තැබීම ඔවුන්ගේ අරමුණ විය. මුල් වරට A, B, C, D ඉගෙන ගත්තේද මහ විදුහලට ආ පසුව වේ.


අප්පච්චි මේ ලොව හැරයන්නේ අකාලයේය. ඒ ශිරෝෂිස් රෝගය නිසායි. පුදුමය නම් ඔහු මත්පැන්, දුම්වැටි පාවිච්චි කර නැත. මත්පැන් නොබොන අයටත් ශිරෝෂිස් වැළඳෙන බව මේ ළඟකදි මම ලිපියකින් කියවූයෙමි. එතෙක් මට ඉහත ප්‍රශ්ණය ප්‍රහේලිකාවක්ව තිබිනි. පුංචි කාලේ මාව උඩ දමමින් ඔහු මාව සුරතල් කළ අයුරු මතක තිබේ. මා හොඳට ඉගෙන ගන්නා බවත්, රට රට වල යන බවත් කේන්දරයේ ඇති බව ඔහු කීවා මතකය. මගේ කේන්දරයත් අයියාගේ කේන්දරයත් මාරු වුනා දැයි අද මට සිතේ. ගම හරහා පාරක් ඉදිකිරීමට කටයුතු කරන විට අප්පච්චිට නොයෙක් දෙනා නොයෙක් හිරිහැර කළ බව මට මතකය. එය ඇතැම් නූගත් ගැමියන් දැක්කේ අප නිවසට පාරක් හදාගන්නා උත්සාහයක් ලෙසයි. අප්පච්චිගේ ලොකුම විරුද්ධකාරයා වූයේ ගමේ සිටිය මන්තරකාරයෙක් බව යන්තම් මතකයි.


අප පවුලේ කිසිවකු අද ගම්මානයේ නැත. නමුත් අද ඒ පාර ඉදිවී ඇත. ගම හරහා කාපට් පාරක් ඇත. අප්පච්චි මා හතරේ පංතියේ ඉඳිද්දී ඔබ මාව අතහැර ගියේය. පරාර්ථකාමීත්වය, ඉගෙනීමේ අගය, පවුලේ සමගිය යන දේවල වටිනාකම කියා දුන්නේ නුඹය. ඒ හැරුනු කොට අන් අයකු සිටී නම් ඒ අම්මාය. මගේ ජීවිතයේ හිරු හා සඳු වන්නේ ඔබ දෙපලමය. ගමේ පාසලට තක්ෂිලා යන නම යෙදුවේද ඔබමය. ඒ පාසලෙන් ඉංජිනේරුවන්, කථිකාචාර්යවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් දායාද වී ඇත. ඔබ දුටු හීනය හැබෑ වෙමින් ඇත. විදුහලේ නිර්මාතෘවරයා නමින් ඔබගේ ඡායාරූපයක් විදුහලේ තබා තිබුනු දුටුවෙමු. අපි ඒ දෙස බලා සිටියේ ඉමහත් අභිමානයෙනි.


පසු සටහන-

සෑම අවුරුද්දකම එක් දිනක් අප පවුලේ සියලු දෙනා කක්ෂිලා විදුහල බලන්න යනවා. ඉස්කෝලේ හැම ළමයටම පෑන්, පොත්, පැන්සල් සපත්තු මේස් ගෙනියනවා. ඉස්කෝලෙට භෞතික සම්පත් දෙන්නත් උදව් කරනවා. ඉස්කෝලෙට මුලින්ම පරිගණකය හා මුද්‍රණ යන්ත්‍රයක් ලබා දුන්නෙත් අක්කලා, අයියලා, මල්ලිලා එකතුවෙලා. ගිය අවුරුද්දේ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් අරන් දුන්නා. ඉස්කෝලෙට යන දවස හරිම ලස්සනයි. දැනුත් හොඳම කැපවීමෙන් උගන්වන ගුරු මඩුල්ලක් එහි ඉන්නවා. ඉස්කෝලෙ දියුණු කරන්න දැන් ඉන්න විදුහල්පතිතුමා වන ප්‍රසාද් මහතාත්, හිටපු විදුහල්පතිතුමා වන එස්.එම්. කරුණාරත්න මහතාත් ලොකු දායකත්වයක් දෙනවා. ගමේ කෑම ටිකක් කන්නත් එක්ක අපේ ළමයිනුත් එක්ක ලබන අවුරුද්දෙත් අපි ගමට යනවා. 











Monday, June 13, 2016

නිහඬවම සමුගත් මහාලිංගම් සර්

මහාචාර්ය මහලිංගම් ගැන ලියන්න ඕනි කියලා හිතුවේ බෝහෝ කාලයකට ඉස්සරයි.  කරුණු කාරණා ගොනු කරගත්තා. ඡායාරූපත් සොයා ගත්තා. ඒත් මගෙ අතින් ඒ වැඩේ සිදු වුනේ නෑ. ඒ ගැන දැන් තියෙන්නේ පසුතැවිල්ලක්.  මහලිංගම් සර්ගේ සමු ගැනීමත් එක්කම ආපහු සැරයක් ඔවුන් ගැන මතකය  ආවර්ජනය කරන්න වුණා.


               ඔහුගේ වියෝව ආරංචි වෙනකොට මම හිටියේ කෑගල්ල පංතියේ. ඉන්ටවල්  වෙලාවේ දි මං ගොඩක් කල්පනා කළා.  අපේ රට කියන්නේ  වටිනාකම් සහිත මිනිසුන්ගෙන් පිරුණු තැනක්. ඒත් මොකක්දෝ අවාසනාවකට ‍බෝහෝමයක්  ඇගයීම් ලැබෙන්නේ නො වටිනා මිනිසුන්ට.  මං දැක්කා එක්තරා පුද්ගලයෙක් මේ සිද්ධිය ගැන මුහුණු  පොතේ දාපු සටහනක තිබුණා  ‘මෙහෙම කුණු හොයනා ජාතියකට   මැණික් කුමට ?‘   හරියටම හරි නො වටිනා පුද්ගලයන්ගේ ඕපාදුප ගැන පත්තරවල පිටු ගනන් ලියවෙනවා. 


          අතීතයට හිත දිව යද්දී පේරාදෙණිය  ඉංජිනේරු පීඨය මතක් වෙන  හැම මොහොතකම එහි ඇති ජෙට් එන්ජිම හිතට එනවා. ඒත් එක්කම ඒ යුග පුරුෂයාගේ රූපකාය මැවී පෙනෙනවා. හැමදාම උදේට දැකපු ඒ සුන්දර මිනිසා මතකයට  එනවා. එතුමන්ගෙන් ඉගෙන ගැනිමට ලැබීමත් පිනක් කියලා හිතෙනවා. සුපිරි චරිත විදියට හිටපු ඇත්තටම සුපිරි වැඩ කරලා තිබුණු මහචාර්යවරු හිටියා. ඒත් ඒ සමහර අයට තමන් දන්න දේ තේරෙන්න උගන්වන්න බැහැ.  ඒත් මහලිංගම් සර් ඊට වෙනස් නේද කියලා ඉගෙන ගත්ත පළමු දවසෙම තේරුණා.  එතුමන්ට තිබුනේ කරුණාභරිත හදවතක්.  මා දුටු නිහතමානීම මහචාර්යවරයා කව්ද  කියලා ඇහුවොත් දෙපාරක් හිතන්න ඕනි නෑ.  එතුමන්ම    ලෝකයට හොයා ගත්ත මුල ධර්මය උගන්වන විටවත් ඒ  ගැන පම්පෝරි ගැහුවේ නැහැ කියලා Mechanical Engineering කරපු සහෝදරයෙක් කීවා මතකයි.   


         දැන් මම කියන්න යන්නේ මීට කාලයකට  ඉහත වෙච්ච දෙයක් ගැන. එතකොට ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ  ආචාර්යවරයෙක්.  තරුණ ඉංජිනේරුවරයක් සිය ප්‍රායෝගික බුද්ධිය සිසුන්ට බෙදා දෙමින්  පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිය සේවය  ලාබාදෙමින් සිටියා.  එවකට එංගන්තයේ සුප්‍රකට  රොයිස් සමාගම ඇවුරෝ ජෙට් එන්ජින් නිෂ්පාදනය කරමින් සිටින යුගය.  ඔවුන්ගේ  ඇවුරෝ ජෙට් එන්ජිමේ හටගත්  කාර්මික දෝෂයක්  නිසා සමාගම තුළ විශාල අර්බුදයක් පැන නැගුණා. එංගලන්තයේ  පමණක් නොව ලෝතයේම සිටි Air Craft  ඉංජිනේරුවන්ට එය විසඳාගත නො හැකි වුණා.  ඔන්න එතකොට අපේ ආචාර්යතුමාට එවකට ලංකාවත් එංගලන්තයත් අතරවු රාජ්‍ය තාන්ත්‍රික  සබඳතා හරහා කැඳවීමක් ලැබුණා.  


                   ඇවුරෝ ජෙට්  එන්ජිමේ සිදුවන දෙදරීම (Vibration)  සඳහා හේතුව සොයා ගැනීමත් එයට ස්ථීරසාර විසඳුමක් සොයා ගැනීමටත් ඔහුට හැකි වුණා.  සුද්දන්ට විසඳාගත නොහැකි වු අභියෝගය  ඉදිරියේ  ඔහු  මහ  ජයග්‍රාහකයා  වුණා.  


                   ඔහුගේ වික්‍රමය කෙරෙහි  අතිශය පැහැදීමට පත් වු සමාගම එහි සේවයට ඔහුට ආරාධනා  කිරීම නිතැතින්ම සිදු වන්නට ඇති. එහෙත් අපගේ කතානායකයා එහෙත්  එය ප්‍රතික්ෂේප කරන්නේ ලංකාවේ ඉංජිනේරු ශිෂ්‍යන්ට දැනුම ලබා දීම ඊට ඉහලින් සැලකු නිසාවෙනි. 


                අද කාලයට සාපේක්‍ෂව අද කාලයේ චරිත  දිහා බැලුවම මේ සිද්ධිය අදහන්නත් අමාරුයි.  ඉතින් අවසානයේ දී ඔවුන් අහනවා මේ කරපු විසල් සේවය වෙනුවෙන් ඔබට කුමක් අවශ්‍යද කියා.  අන්න එතන දි  තමයි ඔහු පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය වෙනුවෙන් ජෙට් එන්ජිමක් ඉල්ලා  සිටින්නේ.  අන්න එකනදි තමයි හරස්කඩ පෙන්නුම් කරන ජෙට් එන්ජිම ලැබෙන්නෙ.  ඉතින් දැන් ඔබටත් වැටහෙනවා ඇති ඔහු යුග පුරුෂයෙක් බව.  නිහතමානීත්වයේ ප්‍රතිමුර්තියක් බව උතුරටත්, දකුණටත් ආදර්ශයක් බව.
ඇව්රෝ ජෙට් එන්ජිම


              පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දී ඔහු තමන්ගේ සේවා කාලය තුළ දී ‘Machine lab‘  එක ඉතාම පිළිවෙලකට තබා ගෙන ගියා .  තමන්ම සාදාගත් උපකරණ යොදා ගෙන අපුරූවට දේශන පැවැත්වුවා. තමාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ  වාර්තාවක් ඉතා උසස් එකක් වුනා.  යාන්ත්‍රකයේ එන කම්පන ගැන සොයා ගැනිම් එහි අඩංගු කොට තිබුනා.  එම පර්යේෂණ වාර්තාව ගැන ලෝකයේම විද්වතුන්ගේ කතාබහට ලක් වුනා. 


           සාමාන්‍ය ආචාර්ය උපාධියකට වඩා ඉහළ උපාධියක් වන යම් ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂ කාර්යභාර්යක් සිදු කළ අයෙකුට පමණක් පිරිනමන D.sc   ගෞරව උපාධියක් ලබාගත් ලංකාවේ පළමු වැන්නා මහචාර්ය මහලිංගම් බව මා අසා තිබෙනවා. රැහැන් රහිතව වයිබ්රේෂන් පාවිච්චි  කරමින් විදුලිය ගමන් කරවීමට ක්‍රමයක් සොයා ගැනීමට ද ඔහු විසින් පර්යේෂණ කරමින් සිටියා. 


                   ඔහු තමන්ගේ පාවිච්චියට යොදා ගත් වාහනයක් අපගේ අවදානයට නිතර ලක් වුණා.  එය නවීන මෝටර් රථයක් වුනේ නැහැ. මොරිස් මයිනර්  වර්ගයේ කාරයක්. ඒක හැම විටම ඉතා හොඳ තත්වයේ තිබුණා.  එය එතුමා ඉතාම ආදරයෙන් පරිස්සමින් පරිහරණය කළා.  එහි එන්ජිම ඉතා හොඳින් ටියුන් කරලා තිබුනා. 


             තමන්ට ඉගැන්වීමට පුළුවන් මුළු කාලයම ඔහු  සිසු සිසුවියන්  වෙනුවෙන් වැය කළා. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන මහලිංගම් විශ්‍රාම ගත් පසු තමන්ගේ මුල්ගම්පොල නිවසේ ඉතාම චාම් දිවියක් ගත කළා. යුද්ධය නිම වීමෙන් පසු යාපනයේ පදිංචියට ගියා.  එහි  දී ඉතාම නිහඬ සරල දිවියක් ගත කළා. පසුගිය නොවැම්බර් හතරවන බදාදා යාපනයේ අලවේඩ්ඩි හි මලක්කාම් හි දි  හින්දු  චාරිත්‍රානුකූලව ඔහුගේ අවසන් කටයුතු වුනා.  අපේ රටට අහිමි වුණු මේ සම්පත ගැන බොහෝ දෙනෙක් දන්නේවත් නෑ.
ඔහුගෙ චාම් අවමංගල්‍යය





         අපගේ රටට හා ලාංකිකයන්ට එතුමන්ගෙන් වූ සේවය  සදා කල්  අප සිත්හී තබා ගත යුතු නොවේද?  ලිපිය අවසන් කිරීමට මත්තෙන්  මාගේ සරසවි සගයෙක් මෙන්ම  හිතවත් මිත්‍රයෙක් වන   සිවිල් ඉංජිනේරු පරාක්‍රම සොයුරාගේ පද වැලක් ඉදිරිපත් කිරීමට සිතුනා.

                    
මහාලිංගම්  ඇඳුරුතුමාණනි.

දසුන හැරගියද සදහට  කඳු                          අතරේ
සුවඳ  හද රැදෙයි මල් මත අතු                      පතරේ
අරුම පෑ පියා පැනසර  විදු                          අඹරේ
කඳුල  මෙහි තබා නික්මී ගොස්                   අඳුරේ


ඉපිද   පින්සරව  මනහර තල්                      අරණේ
තරඟ කර දියත ජයගෙන විත්                     පොරණේ
නිබඳ සිප් පොවා දරු කැල වෙත                දෙරණෙ
ඇදුර විය සිප් පවර ගෙන දුන් නැණ            සරණෙ


උදුල මිනි පහණ මිටියාවතට                       නුඹයි
තුමුල ගුණ කඳට පේරාදෙණිය                    ණයයි
නුඹව එහි සැමට අහසේ පිරුණු                   සඳයි
නිවුනු බව අසා ලියගොමු සුසුම්                  හෙලයි


විසල් මහවැලිය නුඹෙ ගුණ රැගෙන            ගොසින්
බෙදයි ලක් පොළව සිඹිමින්  ගලා               නිතින්
එවිට  මල් පිපී ඒ ගුණ රැඳුනු                        බිමින්
සදයි නව ලොවක් ඇදුරුනි නුඹේ                නමින්

                                                            රවින්ද්‍ර බණ්ඩාර